තේ වගාවේ පොහොර භාවිතය පිළිබඳ අවවාදාත්මක සටහන

තේ වගාවේ පොහොර භාවිතය පිළිබඳ අවවාදාත්මක සටහන

තේ වගාවේ පොහොර භාවිතය පිළිබඳ අවවාදාත්මක සටහන

“තේ පොහොර” නමින් විවිධ පෝෂක සංයුතීන් ගෙන් යුත් පොහොර වර්ග වෙළඳ පොළෙහි විකිණීමට ඇති බවත්, ඒවා තේ වගාව සඳහා යොදන බවත් අප වෙත අවස්ථා කීපයකදීම වාර්තා වී ඇත.  ඒ අනුව වෙළඳ පොළෙහි ඇති පොහොර මිශ්‍රණයන්ගෙන් අහඹු ලෙස ලබා ගත් සාම්පල් හා අප වෙත ලැබී ඇති එවැනි පොහොර සාම්පල් විෂ්ලේෂණය කර තත්ව වාර්තා ලබා ගැනීමේදී ඒවා බොහොමයක් තේ වගාව සඳහා භාවිතයට නුසුදුසු (ප්‍රමිතියෙන් තොර) ඒවා බව තහවුරු වී ඇත. පසට යෙදීමට නොසුදුසු සංයෝගද මෙම සමහර පොහොරවල අඩංගු බවට විද්‍යාත්මක සාක්ෂි ලැබී ඇත. විශේෂයෙන්ම අධික ලෙස සෝඩියම් (Na) අඩංගු පොහොර යෙදීම පසට හානිදායකය. එවැනි නුසුදුසු පොහොර දිගින් දිගටම භාවිතා කිරීම තේ කර්මාන්තයට මෙන්ම පාරිසරිකවද තර්ජනයක් විය හැකි බැවින් තේ පර්යේෂණ ආයතනය මගින් නිර්දේශිත පොහොර පමණක් තේ වගාව සඳහා යොදන ලෙස මින් අවධාරනය කරමු.

තේ වගාව සඳහා පොහොර නිර්දේශ ඉදිරිපත් කිරීමේදී සැළකිල්ලට ගනු ලැබෙන ඉතා වැදගත් කරුණු කීපයක් පහත සඳහන් කර ඇත.

මේ අනුව තේ වගාව සඳහා තේ ප ආ විසින් නිර්දේශිත පොහොර මිශ්‍රණ පහත වගුව 1 හි සඳහන් කර ඇත. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා තේ ප ආ උපදෙස් චක්‍රලේඛ (අංක SP1-SP10) පරිශීලනය කරන්න. මෙහි සඳහන් පොහොර නිර්දේශයන්ට අමතරව වෙනත් පොහොර මිශ්‍රණ තේ වගාව සඳහා භාවිතා කිරීමෙන් වළකින්න.

වගුව 1 : තේ සඳහා නිර්දේශිත විවිධ පොහොර මිශ්‍රණ සහ ඒවායේ පෝෂක ප්‍රමාණයන්

පොහොර මිශ්‍රණය යොදන අවධිය පෝෂක ප්‍රමාණය (%)
N P2O5 K2O MgO S
T 65 තේ තවාන් 10.5 10.8 11.1 3.7 12.7
T 200 ළපටි තේ, මව් වගා, බීජ දරන තේ 10.3 6.9 7.5 3.0 14.8
T 750 නොමේරූ තේ සහ බීජ දරන තේ 13.7 3.7 8.0 1.6 17.5
U 330 මේරූ බීජ දරන තේ 18.1 8.6 18.2 Nil Nil
U 625 පුනරුත්ථාපන තෘණ 16.6 11.4 14.4 Nil Nil
ST/UM 400 උඩරට හා මැදරට අඩු අස්වනු සහිත රිකිලි හා බීජ තේ 22.5 6.2 17.6 Nil Nil
ST/LC 365 පහතරට අඩු අස්වනු සහිත රිකිලි හා බීජ තේ 24.7 6.7 13.6 Nil Nil
ST/UVA 435 ඌව අඩු අස්වනු සහිත රිකිලි හා බීජ තේ 20.7 5.8 20.7 Nil Nil
VP/UM 910 උඩරට හා මැදරට මේරූ රිකිලි තේ 29.7 3.9 13.2 Nil Nil
VP/LC 880 පහතරට මේරූ රිකිලි තේ 30.7 4.1 11.4 Nil Nil
VP/UVA 945 ඌව මේරූ රිකිලි තේ 28.6 3.8 14.8 Nil Nil
VP/UM1020 උඩරට හා මැදරට වැඩි අස්වනු සහිත රිකිලි තේ 31.4 3.4 11.8 Nil Nil
VP/LC 1075 පහතරට වැඩි අස්වනු සහිත රිකිලි තේ 33.5 3.3 9.3 Nil Nil
VP/UVA 1055 ඌව වැඩි අස්වනු සහිත රිකිලි තේ 30.3 3.3 13.3 Nil Nil
U 834 මේරූ තේ සඳහා කීසරයිට් අඩංගු පොහොර මිශ්‍රණය 24.0 3.6 12.0 3.6 3.4
UT 752 මේරූ තේ සඳහා සල්ෆර් අඩංගු පොහොර මිශ්‍රණය 26.6 4.0 13.3 Nil 2.7
T1240* මේරූ තේ සඳහා, N ප්‍රභවය ලෙස ඇමෝනියම් සල්ෆේට් අඩංගු පොහොර මිශ්‍රණය 16.1 2.3 8.0 Nil 18.7

*යූරියා මිල ඉහළයාම නිසා, ඇමෝනියම් සල්ෆේට් අඩංගු T1240 පොහොර මිශ්‍රණය, අතුරු නිර්දේශයක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙම පොහොර මිශ්‍රණය භාවිතා කිරීමේදී පසේ ආම්ලික බව වැඩිවිය හැකි බැවින්, කප්පාදු චක්‍රය මැදදී වුවද, පසෙහි pH අගය පරීක්ෂා කර, ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයට ඩොලමයිට් යොදා පසේ ආම්ලිකතාව නිවැරදි කර ගන්න.

සැළකිය යුතුයි: පොහොර මිලදී ගැනීමේදී මිශ්‍රණයේ අඩංගු සංයෝග වල පෝෂක ප්‍රතිශතය/අනුපාතය, නිෂ්පාදිත ආයතනයේ/පුද්ගලයාගේ තොරතුරු, නිෂ්පාදිත හා කල් ඉකුත්වීමේ දිනය ආදී තොරතුරු පිළිබඳ අවධානය යොමු කරන්න.

බාගත කිරීමේ සබැඳිය

තේ ඉඩම් සඳහා කොම්පෝස්ට් නිපදවීම සහ භාවිතා කිරීම

තේ ඉඩම් සඳහා කොම්පෝස්ට් නිපදවීම සහ භාවිතා කිරීම

මාර්ගෝපදේශ 01_2021

තොරතුරු සම්බන්ධතා ලැයිස්තුව

තොරතුරු සම්බන්ධතා ලැයිස්තුව

By webadmin / May 12, 2021
කොවිඩ්-19 වසංගත කාල පරිච්ඡේදය තේ කර්මාන්තයේ සැපයුම් හා වටිනාකම් දාමයේ පාර්ශවකරුවන් ද ඇතුළුව තේ වගාව හා තේ සැකසුම් කටයුතුවල නියැලී සිටින අයට (කුඩා තේ වතු හිමියන්, ආයතනික අංශයේ ප්‍රධාන විධායක නිලධාරීන්, සාමාන්‍ය/මෙහෙයුම් කළමනාකරුවන්, වතු අධිකාරීවරුන් සහ සහකාර වතු අධිකාරීවරුන්; රාජ්‍ය අංශයේ සාමාන්‍ය/මෙහෙයුම් කළමනාකරුවන්, වතු අධිකාරීවරුන් සහ සහකාර වතු අධිකාරීවරුන්; මධ්‍යම පරිමාණ තේ වතු හිමියන්, තේ කර්මාන්තශාලා හිමිකරුවන් ආදි...) අවශ්‍ය තොරතුරු හා තාක්ෂණය සැපයීම සදහා තේ පර්යේෂණ ආයතනයේ සහ එහි ප්‍රාදේශීය මධ්‍යස්ථානවල නිලධාරි මඩුල්ලක් කැපවී සිටී. තේ කර්මාන්තය ආශ්රිත ඔබට අවශ්‍ය යම් තොරතුරක් දැන ගැනීමට අවශ්යව ඇත්නම් පහත සඳහන් දුරකථන, විද්‍යුත් තැපෑල, WhatsApp හෝ Viber තාක්ෂණයන් ඔස්සේ පහත සඳහන් නිලධාරීන් ඇමතීමෙන් ලබාගත හැකිය. පහත දැක්වෙන්නේ සම්බන්ධතා ලැයිස්තුවයි.

තේ වගාවන්හි කොවීඩ් – 19 පැතිරීම වැලැක්වීම සහ පාලනය කිරීම පිළිබද මාර්ගෝපදේශනය

තේ වගාවන්හි කොවීඩ් – 19 පැතිරීම වැලැක්වීම සහ පාලනය කිරීම පිළිබද මාර්ගෝපදේශනය

Last updated on June 1st, 2020 at 05:31 am

තේ වල ප්‍රතිවෛරස් ගුණාංග: කළු තේ වලට කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකිද?

තේ වල ප්‍රතිවෛරස් ගුණාංග: කළු තේ වලට කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකිද?

Last updated on June 1st, 2020 at 05:40 am

දරුණු ශ්වසන අපහසුතා ඇති කරන කොරෝනා වයිරස් 2 (SARS-CoV-2) මගින් ඇතිකරන නව කොරෝනා වයිරස් රෝගය (COVID-19) අද වන විට මහාද්වීප 6 ක රටවල් 195 කට වැඩි සංඛ්‍යාවක වාර්තා වී ඇත. COVID-19 රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා චිකිත්සක විකල්ප ප්‍රතිවෛරස් කාරකයන් පිලිබද ගවේෂණ සදහා ලොව පුරා විවිධ උත්සාහයන් ගනිමින් සිටින අතර, තායිවානයේ මෑතකදී කරන ලද අධ්‍යයනයකින් සාම්ප්‍රදායික චීන ඖෂධීය සංයෝගවල ප්‍රතිවෛරස් ක්‍රියාකාරිත්වය පිලිබද SARS-CoV-2 වෛරසයයේ ප්‍රෝටීන් ව්‍යුහය භාවිතා කර එයට බන්ධනය කර ගත හැකි සංයෝග හඳුනා ගැනීමට පරිගණක මොඩ්ලින්ග් ‍ක්‍රමවේදය භාවිතයෙන් පර්යේෂණාත්මක පුරෝකථනයක් කරනු ලැබීය. එහි දී RNA මත යැපෙන RNA-පොලිමරේස් (RdRp) ඉලක්ක කර ගනිමින් සංයෝග 64 ක රසායනික ව්‍යුහයන් පරීක්‍ෂාකල අතර මෙහි දී RNA ප්‍රතිවලිත උත්ප්‍රේරණය කරන රසායනිකය ප්‍රෝටීයේස් බව හදුනාගෙන ඇත.

මූලික ප්‍රතිඵල වලට අනුව, අධ්‍යයනය කරන ලද සංයෝග 64 අතුරින්, RdRp ඉලක්කගත SARS-CoV-2 වෛරසය නිෂේධනය කිරීම සදහා මූලිකවන සංයෝගයක් ලෙස තියාෆ්ලැවින් භාවිතා කළ හැකි බැව් පෙනීගොස් ඇත. කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵල තවමත් ජීවී නියැදීන් යොදා ගනිමින් කල අධ්‍යයනයන් මගින් සනාථ කර, සායනික ප්‍රතිලාභ බවට පරිවර්තනය කර නොමැත. තියාෆ්ලැවින් යනු කළු තේ නිශ්පාදන ක්‍රියාවලියේ එන්සයිමීය ඔක්සිකරණ ක්‍රියාවලිය තුල (මෙය තේ නිශ්පාදන ක්‍රියාවලියේ දී පැසවීම ලෙස හැඳින්වේ) නිපදවෙන ප්‍රතිඔක්සිකාරක පොලිෆීනෝල් සංයෝගයක් වන අතර ඒවා කළු තේ වල බහුලව අඩංගුව ඇත. කළු තේ තියාෆ්ලෙවින් වලින් පොහොසත් නමුත් නිෂ්පාදන ක්‍රියාවලියේ වෙනස්කම් නිසා හරිත තේ වල තියාෆ්ලැවින් සැලකිය යුතු තරම් අඩංගු නැත.

 

එසේම, මින් පෙර සිදුකර ඇති අධ්‍යයනයන්හි තේ වල අඩංගු අනෙකුත් රසායනික ද්‍රව්‍යයන්වන කැටෙකින්, මෙතිල්සැන්තීන් (කැෆේන්, තියාෆිලින් සහ තියෝබ්‍රොමින්) ප්‍රතිවෛරස් ක්‍රියාකාරිත්වයන් පෙන්නුම් කර ඇත. තේ වල අඩංගු සංයෝගවල විභව ප්‍රතිවෛරස් ක්‍රියාකාරිත්වයන් පිළිබඳ ප්‍රකාශනයට පත්කර ඇති පර්යේෂණ කිහිපයක් පිළිබද අපි මෙහිදී සාකච්ඡා කරමු. මෙම අධ්‍යයනයන් තුළින් තේ වල අඩංගු සංයෝග වලට  ඉන්ප්ලුවන්සා වෛරස්  වර්ග කිහිපයකට එරෙහිව  පුළුල් පරාසයක ප්‍රතිවෛරස් ක්‍රියාකාරිත්වයක් ඇති බව පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත්, SARS-CoV-2 වෛරසයට එරෙහි ප්‍රතිවෛරස් ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු මේ දක්වා ප්‍රකාශනයට පත්ව නොමැත. තේවල අඩංගු සංයෝගවල ප්‍රතිවෛරස් ක්‍රියාකාරිත්වයන්ගේ සායනික කාර්යක්ෂමතාව පිළිබඳ අධ්‍යයන තවදුරටත් සිදු කරමින් පවතී.

තේ, ජලයට පසුව ලොව වැඩියෙන් ම පරිභෝජනය කරන ඉතා ලාබදායි පානය යි. තේ පෝෂණ ගුණයෙන්  එතරම් පොහොසත් නොවුවත්, එය ප්‍රබෝධමත්, මෘදු උත්තේජක පානයක් වන අතර සෞඛ්‍යමය වාසි රැසක් සමඟ අපගේ යහපැවැත්මට මහගු පිටිවහලක් වෙයි. තේ පරිභෝජන ඉතිහාසයේ වසර 5,000 කට ආසන්න කාලයක සිට තේ පානය කිරීම සෞඛ්‍යමත් ජීවිතයකට හේතු වී ඇති බව අප දන්නා කරුනකි.

තේ වල සෞඛ්‍යමය ගුණාංග සදහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ප්‍රධාන රසායනික සංයෝග අතරට කැටෙකින්, ඇල්කලොයිඩ (කැෆේන්, තියෝබ්‍රෝමින් සහ තියාෆිලින්), ඇමයිනෝ අම්ල, වාෂ්පශීලී සංයෝග, කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, විටමින් වර්ග, අකාබනික මූලද්‍රව්‍ය සහ කාබනික අම්ල ද ඇතුළත් වේ. කළු තේ, බොහෝ පොලිෆීනෝලයන්ගෙන් පොහොසත් වන අතර විශේෂයෙන් ප්‍රාථමික කැටෙචින් සංයෝග 6 ක් වන කැටෙකින් (C), ගැලෝකැටෙකින් (GC), එපිකැටෙකින් (EC), එපිගැලෝකැටෙකින් (EGC), එපිකැටෙකින් ගැලේට් (ECG) සහ එපිගැලෝකැටෙකින් ගැලේට් (EGCG) සහ ද්වි- සහ බහු-අවයවික කැටෙකින් එනම් පිළිවෙලින්, තියාෆ්ලැවින් (TF) සහ තියාරුබිජින් (TR) සංයෝගයන්ගෙන් සමන්විතය. මිනිසාට සෞඛ්‍යදායී දිවියක් ලබාදීම සදහා තේවල අඩංගු රසායනික සංඝටක වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පර්යේෂකයින්ගේ නිරීක්ෂණ හා සායනික අධ්‍යයනවලින් සනාථ වී ඇත.

බොහෝ වසංගත රෝග අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ නිතිපතා තේ පානය කිරීම, කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම හා අධි රුධිර පීඩනය පාලනය සමඟ සම්බන්ධතාවයක් දක්වන බවත් පිළිකා සහ හෘද රෝග අවම වීමට ද දායක වන බවත් ය. කළු තේ වල දක්නට ලැබෙන ප්‍රධාන රසායනික සංඝටකය වන්නේ පොලිෆීනෝල් ය. විශේෂයෙන් ෆ්ලේවනොයිඩ කාණ්ඩයේ පොලිෆීනෝල සිරුර තුල ප්‍රතිඔක්සිකාරක ගුණයන්ට, රුධිර නාලිකා සිහින් වීමේ රෝග තත්ත්වයන් අඩුකිරීමට, වේදනා සමන තත්ත්වයන්ට, සෛල විකෘතිවීම වලකින තත්ත්වයන්ට සහ ප්‍රතිවෛරස ක්‍රියාකාරකම් සදහා දායක වන බව වාර්තා වී ඇත.

තියාෆිලින්, තේ වල අඩංගු ඇල්කලොයිඩයක් වන අතර එය ඇදුම, නිදන්ගත බ්රොන්කයිටිස්, පෙනහළුවල වායු කෝෂවලට හානිවීම හෝ විශාලවීමේ තත්ත්වය සහ අනෙකුත් පෙනහළු රෝග සඳහා ප්‍රතිකාර ලෙස නිර්දේශිත ඔසුවකි. එමගින් පෙනහළු වල ස්වාශනාලිකා ලිහිල් කර හුස්ම ගැනීම පහසු කරවයි. තේ වල ඇති කැටෙකින්, ECG සහ EGCG මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයන්ට විරුද්ධව ක්‍රියා කරන බව වාර්ථා වී තිබේ. කළු තේ වල ඇති රෝග වැළැක්වීම මෙන් ම රෝග නිවාරණය කිරීමේ හැකියාව සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කෙරෙහි බලපෑම් ඇති කලහැකි සංඝටකයක් ලෙස පොලිෆීනෝල හදුනාගෙන ඇති බව පේටන්ට් බලපත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. ඉහත සඳහන් ක්‍රියාකාරී සංරචක සංයෝග වලට හීම්-ඇග්ලුටිනින් සහ නියුරාමිනිඩේස් වල ක්‍රියාකාරිත්වය අක්‍රිය කළ හැකි අතර එමගින් ඉන්ෆ්ලුවෙන්සා වෛරස සෛල වලට ඇතුළුවීම වළක්වා ගැනීම තුලින් ආසාදනය අවම කර ගත හැක.

වෛරස් ආසාදන නිසා ඇති වන ඉන්ෆ්ලුවෙන්සා සහ සෙම්ප්‍රතිශ්‍යාව පාලනය කිරීමට තේ වලට හැකියාවක් ඇති බව බොහෝ අධ්‍යයනයන් මගින් පෙන්නුම් කර ඇත. තේ කැටෙකින් වලට ඉන්ෆ්ලුවෙන්සා වෛරසයන් මතුපිට ඇති ශූලයන්ට බැඳී එම වෛරසයන් ධාරක සෛල මතුපිටට අධිශෝෂණය වීම වැළැක්වීමේ  හැකියාවක් ද ඇත. විවිධ අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ කළු තේ සහ හරිත තේ දෙකෙහිම ඇති එපිගැලෝකැටෙකින් ගැලට් (EGCG) හට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වීමේ හැකියාව වැලැක්වීමට හැකි බවයි.  ජපානයේ සිදු කරන ලද වසංගත රෝග අධ්‍යයනවලින් පෙනී යන්නේ දිනපතා හරිත තේ පානය කිරීම මගින් වැඩිහිටියන්ගේ හා ප්‍රාථමික පාසල් ළමුන් තුළ ඉන්ෆ්ලුවෙන්සා ඇතිවීමේ අවදානම අඩු කරන බවයි.

ජපානයේ සමහර දිස්ත්‍රික්කයන් හි ඉන්ෆ්ලුවෙන්සා වැළැක්වීමේ පියවරක් ලෙස හරිත තේ නිස්සාරණයන්ගෙන් උගුර සේදීම නිර්දේශ කර තිබීම සිත්ගන්නා කරුණකි. විද්‍යාත්මක අධ්‍යයනවලින් සනාථ කරන ලද සාම්ප්‍රදායික දැනුම තුල ද කළු තේ පානයෙන් මේ හා සමාන ප්‍රතිඵල ලැබෙන බව පෙන්වා දී ඇත.

තේ වල ඇති ප්‍රතිඔක්සිකාරක සහ L-තියනීන් මිනිසුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කරන බව පර්යේෂණ මගින් සනාථ කර ඇත. ප්‍රතිඔක්සිකාරක මගින් මුක්ත ඛණ්ඩකයන් විනාශ කරන අතර ගැමා-ඩෙල්ටා ටී සෛල ලෙස හැඳින්වෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති ද්‍රව්‍යයන්ගේ ප්‍රතිචාරයන්ට මූලික වන්නේ L-තියනීන් ය. එසේම, තේ වල ප්‍රතිබැක්ටීරියා ගුණ මෙන්ම එහි ඇති විටමින් හා ඛනිජ ද්‍රව්‍ය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වන විට ශරීරයට පිටතින් ඇතුළුවන ක්ෂුද්‍රජීවීන්ට එරෙහිව සටන්කර සුව වන ලෙස පටක හා සෛල අළුත්වැඩියා වීමේ හැකියාව දියුණු වේ. එබැවින්, වෛරසයන්ට එරෙහිව සටන් කිරීමට මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වීම හා තේ පරිභෝජනය අතර සම්බන්ධතාවක් පවතින බව ද සනාතවේ.

ඉහත කරුණු වලින් පැහැදිලි වන්නේ, කෙනෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මගින් රෝගවලට එරෙහිව සටන් කිරීම සදහා කෙනෙකුගේ සිරුර තුල ඇති ස්වාභාවික ප්‍රතිශක්තිකරණ හැකියාව අඛණ්ඩව ඉහළ නැංවීමට හෝ ඒ සදහා මූලිකත්වය ගැනීමට දෛනික කළු තේ පරිභෝජනය ඉතා හොඳින් ඉවහල් වන බවයි. තේ පිළිබඳ සිදුකරන ලද පර්යේෂණ තොරතුරු විශ්ලේෂණය හා සමාලෝචනය මගින් කළු තේ වල චිකිත්සක බලපෑම හා ඉන්ප්ලුවන්සා වෛරසයේ බලපෑම අවම කිරීමට විශේෂයෙන් කළු තේ වල ක්‍රියාකාරී  යාන්ත්‍රණයක් ඇති බව උපකල්පනය කළ හැක. කළු තේ වල අඩංගු තියාෆිලින් මගින් ශ්වසන අපහසුතා ඇතිකරන කොරෝනා පවුලේ වෛරස් රෝග ද ඇතුළුව සියළු RNA වෛරස් රෝග වලට ද මෙය සත්‍යවේ. කළු තේ වල ඇති තියාෆ්ලේවින් ක්ෂුද්‍ර ජීවී ආසාදන වළක්වාලීම සදහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට ශරීරයට සහාය වීම සිදු කරනු ලබයි.

SARS-CoV-2 වෛරසයට එරෙහි ප්‍රති-වයිරස සහ ඖෂධීය ක්‍රියාකාරකම් සදහා තේ වල දායකත්වය පිළිබඳ තොරතුරු තවමත් පැහැදිලි නැත. එහෙත්, SARS-CoV-2 වෛරසයෙහි RdRp වල ක්‍රියාකාරිත්වය නිශේධනය සදහා තියාෆ්ලේවින්වල ඇති හැකියාව නිසා COVID-19 වසංගතයට චිකිත්සක ප්‍රතිකාර සෙවීමේදී තියාෆ්ලේවින් කෙරෙහි ශුභදායී බලාපොරොත්තු තබාගත හැකිබව පෙනේ.

දිනපතා කළු තේ පානයකර ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුනු කිරීමට සහය වන්න.

 

පරිශීලනය කළ තොරතුරු ප්‍රභව

 

  1. Lung J, et al. (2020) The potential chemical structure of anti-SARS-CoV-2 RNA- dependent RNA polymerase. J Med Virol. ;1–5. https://doi.org/10.1002/jmv.25761
  2. Guangdi Li and Erik De Clercq (2020) Therapeutic options for the 2019 novel coronavirus (2019-nCoV) Nature Rev. Drug Discovery Vol 19 :149 -150
  3. McKay, D L et al. (2011) Teas, tisanes and health. Teas, cocoa and coffee: plant secondary metabolites and health: 99-142.
  4. Sharangi, A B (2009) Medicinal and therapeutic potentialities of tea (Camellia sinensis) –A review. Food Res Int.42.5-6: 529-535.
  5. Hamilton-Miller, J M (1995) Antimicrobial properties of tea (Camellia sinensis). Antimicrobial agents and Chemotherapy39.11: 2375.
  6. Shimamura, T. and Y. Hara. (1991). Preventive and curative medicament against infection with influenza virus, containing tea or tea polyphenols. European patent EP 417385 A2.
  7. Nakayama et al. (1994) Inhibition of the infectivity of influenza virus by black tea extract. J Jpn Assoc Infect Dis 21: 824-829
  8. Nakayama et al. (1993) Inhibition of the infectivity of influenza virus by tea polyphenoles. Antiviral Res 21: 589-299
  9. Matsumoto K et al. (2011) Effects of green tea catechins and thaeanine on preventing influenza among healthcare workers; A Randomized control trial. BMC Complement Altern Med 11:15
  10. Park M et al. (2011) Green tea consumption is inversely associated with the incidences of influenza among schoolchildren in tea plantation area of J Nutr 141: 1862-1870
  11. Iwata M et al. (1997) prophylactic effect of black tea extract as gargle against influenza. J Jpn Assoc Infect Dis 71: 487-494

 

විශේෂ ස්තුතිය

මෙම අත් පිටපත විවේචනාත්මකව සංස්කරණය කිරීම සහ කියවීමේ පහසුව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය  අමතර තාක්ෂණික කරුණු ඇතුළත් කිරීම සදහා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති ආචාර්ය එම්. ඩබ්ලිව්. එන්. ධර්මවර්ධන මහතා සිදුකළ දායකත්වය සහ අත් පිටපත සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සදහා  උපදෙස් හා ව්‍යාප්ති අංශයේ උපදේශක නිලධාරිනී හිරෝමි නිශාන්ති මහත්මිය සිදුකළ දායකත්වය වෙනුවෙන් මෙම පර්යේෂණ පත්‍රිකාවේ කතුවරුන් ස්තුතිය පුදකරනු ලබයි.

 

කතුවරු

ආචාර්ය නෙළුම් පියසේන, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, ජෛව රසායන විද්‍යා අංශය

ආචාර්ය මහසෙන් ඒ බී රණතුංග, ප්‍රධාන පර්යේෂණ නිලධාරී, ශාක අභිජනන අංශය

ආචාර්ය එල් එස් කේ හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය

Privacy Notice Disclaimer Notice
21445
Total Visit : 21445
Last Updated on : June 1st, 2020
Solution by LankaCom